යහන්ගල චාරිකාව

ඇඟට දැනුනු සීතලත් එක්කම මට ඉබේටම වගේ ඇහැරුනා.ඇස් දෙක ඇරලා හරි බරි ගැහිලා නිදාගෙන හිටි ඉරියව්වෙන්ම හිටියත් මගේ හිත හොඳටම අවදි වෙලා. ඔලුවට තියාගෙන හිටි තැනට උඩින් තියල තිබුනු බෑග් එකට අත දාලා ඔරලෝසුව ගත්තා.

වෙලාව බලන්නෙ කොහොමද? තාමත් ඝන කලුවර.
ආයෙත් අතදාලා ෆෝන් එක අරන් වෙලාව බැලුවා.
“05:20”
වෙනදා මෙච්චර වේලාසන නැගිට්ටොත් කලින් දැකපු හීනෙත් මතක් කර කර ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න මම අද හීතලටද මන්දා ආයෙත් නින්ද යන්නැති ගානට අවදි වෙලා.

හීතලට ගල් ගැහුනු කබ කඩ කඩා,ඇඟ උඩින් දමාගෙන හිටි බෙඩ්ශීට් එකත් ඇඟ වටේ පොරවගෙන හිමින් සැරේ ඔලුව උස්සලා බැලුවා.තාමත් එකෙක්වත් ඇහැරලා නෑ.සීතලට පොරවගෙන නිදි.හිමිහිට නැගිටලා ටෙන්ට් රෙද්දෙන් එලියට අඩිය තිබ්බා.රෑ පින්නට හීතල වුනු ගල්ලෙනේ බිම පස් පොලව තවත් හීතලයි.හනිකට කකුල් දෙක සෙරෙප්පු දෙකට බස්සපු මම ගල් ලෙනෙන් එලියට බැහැලා වට පිට බැලුවා.

_DSC0378

තවමත් හරියට එලිය වැටිලා නොතිබුනාට කැලය අවදි වෙලා.ඈතට විහිදුනු ඉලුක් විල්ලුවේ තැනින් තැන සරුවට වැඩී තිබුනු ගස් වල හිටි කුරුල්ලෝ ඒ බව මට කිව්වා.හැන්දෑවේ දැක්කා වගේ ඒ ගස් වල පිට අතුල්ලපු උන්දෑ අපේ ගල්ලෙනටත් එබිකම් කරයිදෝ කියලා හීන් දෙගිඩියාවක් හිතේ තියාගෙනයි ඊයෙ රෑ අපි හැමෝම නින්දට වැටුනෙ.ගලේ බණ්ඩාර දෙවියන්ගෙ පිහිටෙන් රෑ ගෙවෙනතුරු කාටවත් අතුරු ආන්තරාවක් නොවුනු එක ගැන මම හිතින් පින් දුන්නා.

හිමින් සැරේ හමාපු හුලඟෙන් හෙලවිලා කලින්දා වැස්සට ගල්ලෙන ලඟ ගහේ අතුවල රැඳි තිබුනු වැහි බින්දු කීපයක් ඔලුවට වැටුනේ ආශීර්වාදයක් කරන්න වගේ…
ආශීර්වාදය වුනත් වැඩි වුනොත් ඇඟට ගුන නැති නිසා පොරව ගෙන හිටි රෙද්දෙන්ම ඔලුව වහගත්තු මම ගල්ලෙනෙන් එලියේ ගහල තිබුනු ගිනි ගොඩ ලඟට ගිහින් බිම දාල තිබුනු කොටයක් උඩ ඉඳ ගත්තා. ගිනිමැලේ නිවී තිබුනත් අලු වලට යටින් තාමත් දැල්වුනු හීන් ගිනි පුපුරක් දිහා බලාගෙන මම මෙතනට ආපු හැටි සිහිපත් කරන්න පටන් ගත්තා.

_DSC0389

මේ හැම දෙයක්ම පටන් ගත්තෙ කැම්පස් එකෙන් ලැබෙන අන්තිම නිවාඩුවේ යන්න හොඳ තැනක් හොයන්න කරපු මෙහෙයුමෙන්. නඩේගුරා සහ ලක්දසුන් අඩවි පීරල බැලුවාම මුලින්ම හමුවුනේ හාවාගල,නිල්ගල,යහන්ගල,බ්‍රැන්ඩිගල,වඩිනාගල වගේ ගල්පර්වත තියන තැන්.සෑහෙන්න සාකච්ච්ඡා කරලා එහාට මෙහාට කෝල් දීලා අන්තිමට තීන්දු වුනේ යහන්ගල.
(යහන්ගල සම්බන්ධ ලිපිය ලක්දසුන් වෙබ් අඩවියට ලියා පල කිරීම සම්බන්ධයෙන් හා අපට ඒ පිලිබඳව වැඩි විස්තර සපයා හීන් බන්ඩා මහතාව හඳුන්වාදීම වෙනුවෙන් ලක්දසුන් කණ්ඩායමේ අශාන් සොයුරාට ස්තූතිය පල කර සිටිමි)
යහන්ගල යන්න තීරනය කරගත්තත් පොඩි පරහකට තිබුනේ වැස්ස විතරයි.
කමක් නෑ කොහොමහරි යනවා කියලා හිතාගෙන ජූනි 7,8,9 දවස් තුනේ ගමන යන්න ලේස්ති වුනා.
ඒත් ඉවරයි කිව්වට ඉවර වුනේ නැති කැම්පස් එකේ පලවෙනි සෙමෙස්ටරේ ප්‍රසන්ටේශන් එකක් නිසා ගමන කල් ගියා ජුනි 21,22,23 දවස් තුනට.

ගමනට සූදානම් වෙද්දි තිබුනු ලොකුම ප්‍රශ්නේ කැලේ මැද්දේ නවතින්න කූඩාරමක් හොයාගන්න එක. අන්තිමට අන්තිම පේලියේ කිරිසප්පයා නොහොත් කිරියා ගේ දැන හැඳුනුම් කමක් මත පහසු මුදලකට කූඩාරමක් හොයාගත්තා.( කූඩාරම සොයාදීම සම්බන්ධයෙන් අ.පේ කිරි සප්පයා මහතාට ස්තූතිය පල කර සිටිමි. 😛 😀 )

ගමනට පිටත් වුනු කාන්ඩේ නායකයා වුනේ ලහිරු.
අනිත් 5 දෙනා මම(අමුතුසේන), එරංග, අනුරුද්ධ, ධනුශ්ක(මොනියා), හිමාෂ(පොඩි ලමයා).

හත් වැන්නෙකුත් එකතු වෙන්න හිටියත් අන්තිම මොහොතේ ගෙදරින් අවසර නොලැබීම නිසා කාන්ඩෙ 6 දෙනෙකුට සීමා වුනා.

සාමාන්්‍ය චාරිකාවක් වගේ අනිත් හැමදේම සූදානම් කරගත්තත් මේ චාරිකාවේදී අපි කලින් නොගෙනියපු බඩු ටිකක් ගෙනියන්න වුනා.ඒකෙන් මේ චාරිකාවේ අරමුනත් හැඩයත් වෙනස් වුනා කියල මට හිතෙනවා.

ඒක වුනේ අපිට චාරිකාවට මග පෙන්වපු හීන් බන්ඩා මාමා නිසා. අපේ ගමනේ සාර්ථකත්වයටත් මූලික හේතුවත් හීන් බන්ඩා මාමාගේ මග පෙන්වීමයි. දුරකතනයෙන් යහන්ගල ගැන ඒ අවට ප්‍රදේශය ගැන විස්තර අහපු අපිට හීන් බන්ඩා මාමා ගොඩක් විස්තර කියල දුන්නා.ඒ අතරේ පුංචි ඉල්ලීමකුත් කලා. අපිට පුලුවන් හැටියකට ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න පොරොන්දුවුනු අපිට හිතුවටත් වඩා සාර්ථක විදියට ඒක කරන්න පුලුවන් වුනේ මෙන්න මේ සටහන පල කරලා අන්තිම පේලියේ සහ අනිත් අපි දන්නා මිතුරු මිතුරියන්ගෙන් කල ඉල්ලීම නිසා.

බුදුන් වැඩි මහියන්ගනයට 
මෙහා
උඩුදුම්බර ගමෙන් හැරිලා 
කලුගල්ල පාරේ උඩහට යද්දී…

ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ
ඝන කැලෑවකින් වටවුනු 
යහන්ගල කියා දැවැන්ත පර්වතයක පාමුල
හෙල් මළු ගොයම් වගාවකට මායිම්ව තියන
පුංචිම පුංචි ගම්මානයක …

අකුරු කරන්නට,චිත්‍ර අඳින්නට
පාට පෙට්ටියක්,චිත්‍ර පොතක්
කියවන්නට කතා පොතක්
සෙල්ලමට දුවලා වැටුනාම බේත් දාන්නට බේත් පෙට්ටියක්
අරගෙන…

කවුරුන් හෝ 
ඈත පේන වෙල් යාය මැදින් වැටුනු පාර දිගේ එනතුරු 
ජීවිතේ බර නොදැනී
සැහැල්ලුවෙන් දුව පනින
අහිංසක හිනාවෙන් පිරුනු මුහුනු 28ක්
ගමේ මොන්ටිසෝරියේ
කොට බිත්තියට බර වෙලා 
බලං ඉන්නවා….

එයින් එකම එක හිතක හරි පිපුනු බලාපොරොත්තුවක් 
ඉශ්ඨ කරන්න ඔබත් කැමති ද….? 

ජූනි 21 වෙනිදා උදේ අපි යනවා ඒ මුහුනු හමුවෙන්න
අපිට හැකි විදියකට බලාපොරොත්තු ඉශ්ඨ කරගන්න උදව්වක් වෙන්න…

මේ විදියට අපි කරපු ඉල්ලීමට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුනා.අන්තිමට අපි බලාපොරොත්තු වුනු වටිනාකම වගේ දෙගුනයක් වටිනාකම ඇති බඩු තොගයක් එකතු කරගන්න පුලුවන් වුනා.ඒ විදියට උපකාර කරපු කැම්පස් එකේ අපේ මිතුරු මිතුරියන්ටත්, ජෙමී,රොබින් හුඩ් , උකුස්සා , චීටා , මාමයිට්(මයිටා)  සහ වසුන්දරා ඇතුළු අන්තිම පේලියේ හැමෝවමත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ.

මේ වගේ බඩු ගොඩකුත් උස්සගෙන නොදන්නා පලාතක කැලයක් මැද්දේ තියන ගමකට යන එක ගැන අපේ ගෙවල් වල උදවියගෙන් නම් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ. ඒ වෙද්දි අපි 6 දෙනාගෙන් කිසිම කෙනෙක් කැලයක් මැද කූඩාරමක රැයක් ගත කරලා අත්දැකීමක් නැති නිසා ඒ ගැන දන්න කියන කිරියා,උකුස්සා වගේ අයගෙනුත් මම වටිනා උපදෙස් ගොඩක් ඉල්ලගත්තා.

මේ විදියට හොඳට සූදානම් වුනු අපි 21 වෙනිදා උදේ සුභ මොහොතින් ගමන පිටත් වුනා….

අපේ ගමනේ පලවෙනි දවස …
නුවර ,තෙල්දෙනිය,හුන්නස්ගිරිය,උඩුදුම්බර හරහා උඩඉළුක ගමට ගිය හැටි …
ගමේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය …
පෙර පාසලට කල ආධාරය …
අසාර්ථක වුනු කූඩාරම් ගැසීමේ පෙර පුහුනුව …
නුහුරු ‘මාලු’ කීපයක් සමග ගත් රාත්‍රී ආහාර වේල  සහ ගමනේ ඉතුරු විස්තර ඊලඟ කොටසෙන් කියන්නම් … 🙂

Advertisements
This entry was posted in අමුතු ගමන්, අමුතු මතක, ෆොටෝග්‍රැෆි. Bookmark the permalink.

One Response to යහන්ගල චාරිකාව

  1. වයලීනෝ says:

    මේකට වෙන්නැති යට ගිය දවසේ කූඩාරම් හෙව්වේ ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s