විස්මිත සිහින දකින්නා

2012 දෙසැම්බර් 16  වන දිනට යෙදුනු ආතර්.සී.ක්ලාක් විද්වතානන්ගේ වෙනි 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන්, ලාංකේය විද්්‍යා ප්‍රබන්ධ කෙටි කතා කලාවේ පුරෝගාමියෙකු වන දමිත නිපුණජිත් විසින් රචිත, 2009 රාජ්්‍ය සාහිත්්‍ය සම්මාන උළලේ හොඳම විද්්‍යා ප්‍රබන්ධ කෘතියට හිමි සම්මානය දිනාගත්, විස්මිත සිහින දකින්නා කෘතියෙන් උපුටා ගන්නා ලද කෙටි කතාවකි…

“විස්මිත සිහින දකින්නා”

සැහැල්ලු බව ….

ඔහුට පලමුවෙන්ම දැනුනු හැඟීම එය විය. වඩාත් නිවැරදිව කිවහොත් ඒ හැඟීමට දිය හැකි ආසන්නතම වචනය එය විය. එය උණුසුම්…සැප පහසු… ප්‍රීතිමත්… අපූර්ව හැඟීමක් විය. තවත් අපූරු යමක් එහි තිබෙන බව ඔහුට හැඟී ගියේය.මෙතෙක් වේලා එය ඇසෙන්නට ඇති වුවද ඔහුගේ සිහියට එය නැගුනේ දැන්ය. අපූරු ස්වර මාලාවකින් යුත් මිහිරි සංගීතයක් ඔහු වටා හමා යමින් තිබිණ.

වෝගන් සිය සිතුවිලි එක්‍ රැස් කරගැනීමට තැතනුවේය. “තමා කවුද…? තමා සිටින්නේ කොහිද…?” හේ විපිලිසරව තමාගෙන්ම විමසන්නට විය.ඔහුට මතකයක් තිබුනේ නැත. එබන්දක් තිබූ බවක් වත් ඔහුට මතක් වුයේ නැත. අතීත සිතිවිලි කිසිත් නැත.සියල්ල වර්තමානය හා වර්තමාන සිතිවිලි පමණි. හේ හාත්පස බැලුවේය. එහි කිසිත් නොවීය. සුදෝසුදු දීප්තියක් හැරෙන්නට කිසිවක් නොවීය.ඉහල බැලුවත් පහල බැලුවත් පසෙක බැලුවත් දක්නට වූයේ සුදු පැහැය පමණි.

“දෙවියනේ…”
වෝගන් ප්‍රථම වතාවට භීතියෙන් ඇලලී ගියේය.
‘ඔහුගේ අත…’ ඔහු සිය දෑත විදහා බැලුවේය.තව දුරටත්  එහි එබන්දක් නොවීය.දෑත පමණක් නොව දෙපා… හිස… පවා.ඔහුට ස්පර්ශයක් දැනුණේ නැත.ඔහු දුටුවේය. එහෙත් දෑසක් වූයේ නැත. එය හුදෙක් සංවේදනයක් පමණක් විය.

“ආයුබෝවන්…!”

විස්මයෙන් විපිළිසරව ගොස් තිබූ වෝගන්ගේ සිතිවිලි ක්ෂනිකව එක්තැන් වී ගියේය.අඩුම ගණනේ ඔහු සිටින්නේ තනිවම නොවේ.හේ කටහඬ ආ දිශාව හඳුනාගන්නට උත්සාහ කළේය. ඉක්මනින්ම ඔහුගේ මනස පරිසරයට අනුරූපී විය. බොහෝ දෙනා ඔහු පසු කරමින් අවකාශයේ එහා මෙහා සැරිසරමින් සිටියහ. එක් අයෙකු පමණක් ඔහු වටා සැරිසරමින් සිටියි.

“මං මේ කොහෙද…?” ඔහුගේ සිතුවිලි මිත්‍රශීලී හැඟීම් ඇති අමුත්තා නිසැකවම ග්‍රහණය කරගන්නට ඇත.
“ආවොත් යන්න වෙන,ගියොත් එන්න වෙන තැන…”
වෝගන් මොහොතකට වික්ශිප්ත විය.විහිළුවක ස්වරූපයක් ගත්තද මීට කලින් එය අසා තිබෙන බවක් ඔහුට හැඟී ගියේය. එහි තේරුම කුමක්ද…? හේ සිය මතකය අවදි කර ගන්නට වෙර දැරුවේය.
“මළවුන්ගේ ලොව…?,මළවුන්ගේ ලොව…!”
හදිසියේ හේ විස්මයෙන් තැතනුවේය. “තමා සිටින්නේ මියගොස්ද…?” ඔහුගේ මතකය කෙමෙන් ගලා එමින් තිබිණි.හේ සිය අවසන් මතකය ග්‍රහණය කරගැනීමට වෙර දැරුවේය.

“කාල යානය…?”
ඔහුගේ මනස හඳුනා ගත නොහැකි තරම් පටලැවිලි සහගත හැඟීම් සමුදායකින් පිරී ඉතිරී ගියේය.
“තමා කාල ගත වූවා නොවේද…?”
වෝගන්ගේ මතකය සීග්‍රයෙන් අවදි වෙමින් තිබිණි.අවදි වන මතකයත් සමගින් ඔහුගේ මනසද සීග්‍රයෙන් වැඩ කරමින් තිබිණි.ඔහු කාලගත වූයේය. දුර ඈත සේ හැඟුනත් මින් මොහොතකට පෙර ඔහු කාල ගත වූයේය. ඔහුගේ සිතිවිලි ප්‍රබල හැඟීම් දහරාවකින් කම්පනය වී ගියේය.මානව ඉතිහාසය පුරාම මිනිසා සිහින දුටු ඒ ආශ්චර්යජනක අසම්මතයේ යාන්ත්‍රනය ඔහු විසින් නිමවන ලදී. වසර ගනනාවක ශ්‍රමය,කැපවීම,දැනුම හා තාක්ෂනය එක්ව සුසැදුනු, රහසක් සේ රැකගනිමින් ඔහුගේම මූලධර්මයන් ඔස්සේ ගොඩනැගුණු “කාල තරණ යන්ත්‍රය” අවසානයේ කාල ගත වූයේය.ඒ කාල ගතවීම ම එහි අවසානය වී ඇත.

“ඔබ කවුද…?
වෝගන්ගේ අපැහැදිලි සිතුවිලි තුළ කිසිවක් හඳුනාගත නොහැකි වූ තැන අමුත්තා සිතිවිල්ලක් සම්ප්‍රේශනය කළේය.

“මම…!” වෝගන් වෙව්ලන සුළු සිතිවිලි ස්වරයක් එක් කළේය. “මම ස්‍ටීව් වෝගන්…! අන්තර්ජාතික අභ්්‍යවකාශ විද්්‍යා දෙපාර්තමේන්තුවේ උප ප්‍රධාන පර්යේෂක…!” මම කාල යානයක් හැදුවා…!”

ඔහුගේ සිතිවිලි බිඳවැටිණි.ජීවිතයේ ප්‍රථම හා අවසන් වතාවට ඔහුගේ පර්යේශනයක් අසාර්ථක වී තිබිණි.
අමුත්තා ඉක්මනින් අදහස ග්‍රහනය කරගත්තේය.කාල ගතවීමේ උත්සාහයේදී මොහුත් සමගම කාලයානය විනාශව යන්නට ඇත. අළුත් අත්හදාබැලීම කරන බොහෝ දෙනා එන්නේ මෙහිය.

සිතුවිලි අතර නිහැඬියාවක් පැතිර ගිය අතර සංගීත රාවය වඩා තීව්‍රව පැතිර යන්නට විය. බොහෝ වේලාවක් යනතුරු එකිනෙකා සම්බන්ධ වීමට කිසිවෙකු උත්සාහ දැරුවේ නැත.වෝගන්ගේ අඳුරු සිතුවිලි පිළිබඳව අමුත්තා එතරම් තැකීමක් නොකළේය.සෘණ සිතිවිලිවලට මේ ලොවේ ආයුෂය ඉතා අඩුය.
නිහැඬියාවෙන් ඉක්ම ගිය බොහෝ වේලාවකට පසු අමුත්තා යලි සංවාදය අරඹන්නට තීරණය කර තිබිණි.
“ඔබ යන්න හැදුවේ අනාගතයටද?”
නිශ්ශබ්දතාවය බිඳ දැමීමට කුමක් හෝ කිවයුතු කල හේ සිතුවිල්ලක් නැංවූයේය.මොහොතක ප්‍රමාදයකින් පසුව පිළිතුරු ලැබිණි.

“නැහැ…! මම යන්න හැදුවෙ අතීතයට… අවුරුදු 150ක් අතීතයට… 1900 ට…!”

ඊළඟ මොහොතේදී තම පිළිතුරෙහි ඇති අසාමාන්්‍යතාවය කුමක්දැයි වෝගන් කල්පනා කරමින් සිටියේය.මෙතෙක් වේලා කිසිදු විචලනයක් නොදැක්වූ අමුත්තාගේ මනස ඒ පිළිතුරත් සමග විස්මිත සිතුවිලි සමූහයකින් විරූපීව ගොස් තිබිණි.කිසිවක් හඳුනාගත නොහැකි තරම් අධික සංඛ්යාතයකින් යුතුව හේ සිතුවිලි මවමින් මකමින් සිටියේය.

අමුත්තා ඉක්මනින් යථා තත්වයට පැමිණ සිටියේය.හේ සිනාසෙන්නට නොහොත් තමා අවුල් සහගත සිතිවිලි වලින් මිදී සිටින බව පෙන්වීමට වෙර දැරුවේය.
“අප දෙන්නම එකම වැරදි අවබෝධයකයි ඉඳල තියෙන්නෙ.මං ඒත් කල්පනා කලා මුලින් දැක්ක දේට හේතුව මොකද්ද කියලා….!”
“හේතුව…?, ඒ මොකටද….?” වෝගන් මේ අපභ්‍රංශය තේරුම් ගැනීමට උත්සාහ කලේය.ඒ වනවිට අමුත්තා නව සිතිවිලි ධාරාවක් විවර කර තිබිණි.
“මට මේ දේ හරියටම විස්තර කරන්න බැහැ.ඒත් අපි සාපේක්ෂව මේ ලෝකය කුටියක් විදියට සැලකුවොත්, බොහෝ දෙනා එන්නෙ පහළින් ඒත් ඔබ ආවෙ පැත්තකින්…!”
“ඉතින්…?”
සත්්‍ය වශයෙන්ම වෝගන්ට පහළ වුනු පළවෙනිම සිතිවිල්ල එය විය. අපේක්ෂා භංගත්වයෙන් තවමත් ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම මිදී තිබුනේ නැත.එහෙත් එහි ඊට වඩා දෙයක් තිබුණි.

“පහල බලන්න…” අමුත්තා සිතිවිල්ලක් නැංවූයේය. ‘පහළ’ නමින් හැඳින්විය හැකි දිශාවක් වෝගන්ට හඳුනාගත හැකි වූ නමුත් ‘බලන්නට’ දෙයක් ඔහුට සොයගත හැකි වූයේ නැත.දීප්තියෙන් බැබලෙන සුදු පැහැය හැරෙන්නට කිසිවක් නැත.
“සිතිවිලි සන්සුන් කරගන්න…!” තවත් සිතුවිල්ලක් නැංවිනි.
වෝගන් සිය සිතුවිලි එක්තැන් කර ගනිමින් තවත් උත්සාහයක නිරත වූයේය.ඊලඟ මොහොතේදී කෙමෙන් බොඳව යන්නට වූ සුදු පැහැය මීදුමක් මෙන් විසිර යන්නට විය.ඉන් එහා යමක් තිබෙනවා විය යුතුය.

“දෙවියනේ…!”
ක්ෂණයකින් සුදු පැහැය හාත්පස වසා යලි පැතිර ගියේය.

“දෙවියනේ…!” වෝගන්ගේ මනස නැතහොත් වෝගන් දැඩිව කම්පනයට පත්වී සිටියේය. ඔහුට එය විශ්වාස කරගත හැකි වූයේ නැත. එහෙත් ඔහු එසේ කළ යුතුව තිබුණි.කිව නොහැකි තරම් විස්මයකින් ඔහුගේ සිතිවිලි පිරී ගොස තිබිණි.හේ නැවතත් එම දර්ශනය දැක ගැනීමට සිතිවිලි එකඟ කර ගන්නට වෙර දැරුවේය.

කළු දුම් දමමින් ක්‍රියාත්මක වන අඳුරු පැහැති කම්හල්,වීදි දිගේ දිවයන මුල් යුගයේ මෝටර් රථ,කලබලයෙන් එහා මෙහා ගමන් කරන කබා හැඳගත් මිනිසුන්,දිග ගවුම් හැඳි ගැහැණුන්…,විසිවන සියවසේ මුල් භාගයේ අංග සම්පූර්ණ නගරයකට ඉහලින් ඔහු ඒකාකාර ප්‍රවේගයකින් පාවෙමින් සිටියේය.

“හරියටම කියනව නම් ඔය තියෙන්නෙ 1917” අමුත්තාගේ කටහඬ ඇසිණි.

වෝගන් ප්‍රීතියෙන් උද්දාමයට පත් වී සිටියේය.ඔහුගේ අවසන් පර්යේෂනය ද සම්පූර්නයෙන්ම සාර්ථකව නොවුනත් අසාර්ථක වී තිබුනේ නැත.ඔහු මියගොස් සිටි බව සැබෑය. එහෙත් ඔහු සිටින්නේ අතීතයේ මළවුන් අතරය. “අන්තිම මොහොතේ” හේ තමාටම කියාගත්තේය. අන්තිම මොහොතේ යමක් සිදුවන්නට ඇත. සමහර විට අධික භ්‍රමනය දරාගන්නට බැරිවීම නිසා යානය විනාශ වන්නට ඇත.

බොහෝ වේලා අතීතයේ ආශ්චර්ය විඳගත් වෝගන් නැවතත් සාමාන්්‍ය තත්වයට පත්ව සිටියේය.ඔහුගේ සිතුවිලි නැවතත් සන්සුන්ව තිබිණි.

“එක අතකින් එහෙම වුනු එක හොඳයි.නැත්නම් මී මුත්තාගේ පරස්පරය වගේ දෙයකින් සේරම අවුල් වෙන්න තිබුනා.”
වෝගන් සිතුවිල්ලක් මැව්වේය. එහෙත් අමුත්තාගෙන් ලැබුනු ප්‍රතිරෝධී ප්‍රතිචාරය ඔහුට එය මතක් කලේය.තමා කථා කරමින් සිටිනුයේ විසිවන සියවසේ මුල් භාගයේ මනසක් සමගිනි.වේල්ස්ගේ යුගයේ කාල යාත්‍රිකයන් එබඳු කල්පිත ගැන සිතාවත් නොතිබුනු බවට සැක නැත.

“සමාවෙන්න…! මට ඒක කල්පනා වුනේ නැහැ.මී මුත්තාගේ පරස් පරය කියන්නේ මෙහෙම දෙයක්.”
“හිතන්න ඔබ කාල යානයකින් අතීතයට යනවා.ගිහින් ඔබේ සීයාව විවාහ වෙන්න කලින් මරල දමනවා කියල… එතකොට ඔහුට දාව ඔබේ තාත්තාව බිහිවෙන්න විදියක් නැහැ.ඒ වගේම ඔබේ තාත්තාට දාව ඔබව බිහි වෙන්නෙත් නැහැ.ඒ කියන්නේ ඔබ කියලා කෙනෙක් නැහැ.එහෙනම් ඔබ කොහොමද අතීතයට ගිහින් ඔබේ සීයව මරා දමන්නේ…?”
අමුත්තා එය ඉක්මනින් තේරුම් ගත්තේය.වචන බඳු රළු සන්නිවේදනයක් මෙන් නොව සිතුවිලි සන්නිවේදනය සියයට සියයක්ම කාර්යක්ෂමය.

සංගීත රාවය වඩා තීව්‍රව අළුත් ස්වරයකින් පැතිර යමින් තිබිණි.එය සැබැවින්ම ඇසෙන්නක්දැයි වෝගන් කල්පනා කළේය.එය තමාගේ අභ්්‍යන්තරය තුලින්ම නැගෙන්නක් විය යුතුය.
හදිසියේ…. හදිසියේ වෝගන්ට යමක් දැනෙන්නට විය.කොහෙදෝ ඈතක සිට කවුරුන් හෝ ඔහුට අඬගසනවාක් මෙන් ඔහුට දැනිණි. ඔහුගේ නොවන කිසියම් අපූරු හැඟීමක් නිරායාසයෙන්ම ඔහු තුළට ඇතුළු වී ඇත්තාක් බඳුය. ඔහුගේ සිතිවිලි පවා තවදුරටත් තමාට වලංගු නැත්තා සේ ඔහුට දැනිණි.කිසියම් ආශාවකින් හේ මුසපත් වෙමින් සිටියේය. ගෞරවනීය ආශාවක්…! ඉක්මනින් ඒ කිමෙක්දැයි හේ හඳුනාගත්තේය. එය ජීවත් වීමේ ආශාව නම් විය.
අමුත්තාටද වෝගන්ගේ වෙනස දැනිණි.තම අසල්වැසියාට සමුදීමට කාලය පැමින ඇත.

“ඉක්මනින් හරි ටිකක් පහුවෙලා හරි අපි හැමෝටම මෙහෙන් යන්න වෙනවා. ඔබ ටිකක් ඉක්මනින් යනවා එච්චරයි…!”
වෝගන් එය ක්ෂණිකව තේරුම් ගත්තේය.”ඒත්…? ඒත්… ” විපිළිසර වූ ඔහුගේ සිතුවිලි ඔහේ ගලාගියේය.ඔහු නැවත ඉපදෙනුයේ කිසි කලෙක ‘ඔහු’ නොසිටි අතීතයකයි.

“ඒත මම අතීතයට අයිති නැහැ.මම අයිති අනාගතයට…” පිළිතුරක් බලාපොරොත්තු නොවූවත් ඔහුට පිළිතුරක් ලැබෙමින් තිබුණි.
“කොහොම වුනත් ඔබ අතීතයට අහසින් පාත් වෙන්නෙ නැහැනේ. ඔබ උපදින්නෙ අම්මා කෙනෙකුගේ කුසකින්….සාමන්්‍ය දරුවෙක් විදිහට.ඔබ අතීතය වෙනස් කළත් කාලය ඒක පරස්පරයක් නැතුව විඳ දරාගනීවි”

“අනෙක…” අමුත්තා තවත් සිතුවිල්ලකට මුල පිරුවේය.
“කොහොමත් ඔබේ පැරණි ජීවිතය මෙතනින් ඉවරයි. ඔබ කව්ද…? , ඔබේ අත්දැකීම් …!, ඔබේ දැනුම…!, ඔබේ මතකය…! ඒ කිසිම දෙයක් මෙතනින් එහාට ගෙනියන්න බැහැ. ඔබ යන්නේ මුකුත්ම නොදන්න අළුත්ම ජීවියෙක් විදිහට…. ”

වෝගන්ගේ සිතුවිලි පුදුමයෙන් හා අසතුටින් මොහොතකට කැළඹී ගියේය. එය කොහෙත්ම මින් පෙර ඔහු කල්පනා කළ කරුනක් නොවීය. ඔහු ජීවිත කාලය පුරාම ගොඩනගාගත් කිසිම දෙයක් ඔහුට අයිති නැත. තව දුරටත් ඔහු අභ්්‍යවකශ විද්්‍යාඥ්යෙකු නොවේ. සියල්ලම අළුතින් ගොඩනැගිය යුතුව ඇත.
වෝගන්ගේ අසතුට අමුත්තාට දැනිණි. හේ නැවුම් සිතිවිලි ස්වරයක් නැංවූයේය.
“හිතන්න එපා ලෝක ධර්මය එච්ච්රම අසාධාරණයි කියලා…පැරණි ජීවිතයේ මතකය අපිට ගෙනියන්න ඉඩ නොදුන්නාට ඒ මතකයන්. ඒ අත්දැකීම්,සුදුසු කාලෙදි අපව සොයාගෙන එනවා.ඒත් ඒවා හරියට හඳුනාගන්නේත් එවගෙන් උත්තේජනය වෙන්නේත් බොහොම ටික දෙනයි. ඔබ වාසනාවන්ත නම් ඒවා ඔබට උදව් කරයි.පැරණි අත්දැකීම් මතක් කරගන්න.ඔබේ අරමුණ කුමක් විය යුතුදැයි කියලා හඳුනාගන්න…”

වෝගන්ගේ කුතුහලයෙන් පිරි සිතුවිලි තරංග මැද හේ කථාව නතර කළේය.
“සිහින…. ඒවා තමයි සිහින….”
වෝගන් කෙමෙන් විපර්යාසයකට අනුරූප වෙමින් සිටියේය.පහළින් වූ සුදු පැහැය සෙමින් බොඳ වෙමින් තිබිණි.තවදුරටත් ඔහු චලනය වෙමින් සිටියේ නැත.ඔහු කුඩා නගරයක කිසියම් නිවසකට ඉහලින් පාවෙමින් සිටියේය.ඔහුගේ අවධානය නිවස ඉදිරිපස වූ කාන්තාවක් දෙසට ඇදී ගියේය.ඔහුගේ සිත ඇය වෙනුවෙන් උපන් ආදරයකින් පිරී ගියේය. සත් මසක පමණ ගැබිණියක වූ ඇය කිවිවෙකු එනතුරු දොරකඩට වී මඟ බලාගෙන සිටියාය.

වෝගන්ගේ සිතුවිලි තවදුරටත් වෙනත් අරමුණකට අනුරූප වූයේ නැත. ඔහුගේ සිත ‘අම්මා’ වෙනුවෙන් ඇතිවුණු ආදරයෙනුත්, ජීවත් වීමේ ආශාවෙනුත්,නොයිවසිලිමත් බවකිනුත් පිරී තිබුණි. ඔහු සෙමෙන් ඇය වෙත පාව යන්නට විය.ඔහුට ඔහු වෙනුවෙන් ඇයගේ කුස හොත් දරුවාගේ හදගැස්මේ රාවය ඇසිණි.

“සුභ ගමන් යාළුවා…”

වෝගන් සිහිනයෙන් මෙන් තමා වෙත ආ අවසන් පණිවුඩය ග්‍රහනය කරගත්තේය.

*   *   *   *

18 දෙසැම්බර් 1917
අංක. 4,බ්ලෙයින්හෙයිම් පාර,
මයින්හෙඩ්.

ජේසු පිහිටයි!
ආදරණීය ක්ලාක්,

මේ එවන්නේ ඔබ නොයිවසිල්ලෙන් බලාසිටි ලිපියයි.පෙරේදා(16) මට දරුවා හම්බවුනා.ඔයා බලාපොරොත්තු වූ විදියටම පුතෙක්. අම්මත් ඉන්නෙ හරිම සතුටින්. ඔයා දන්නවද පුංචි පුතා දිහා බලාගෙන ඉඳිද්දි හැම තිස්සෙම මට හිතෙනවා එයා කවදාහරි ලොකු ශ්‍රේෂ්ඨයෙක් වේවි කියලා.වැඩි විස්තර ලියලා පස්සෙ ලියුමක් එවන්නම්.මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ යුද්ධෙ ඉවර වෙලා ඉක්මනට ඔයාට ගෙදර එන්න ලැබේවා කියලා.ඉතින් නවතින්නම්. පරිස්සමින් ඉන්න.

මෙයට,
ඔබේ ආදරණීය
මේරි.

ප.ලි
හදිසියට ඕනම දේ ලියන්න අමතක වුනා.ඔයා දන්නවද පුතාගෙ නම මොකද්ද කියලා.
ආතර් චාල්ස්

 

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –

මෙම කෙටිකථාවේ සාර්ථකත්වය පිලිබඳ සම්පූර්න ගෞරවය එහි කතෲ දමිත නිපුණජිත් මහතා සතු වන අතර එය මුද්‍රිත මාධ්්‍යයෙන් ඩිජිටල් මාධ්්‍ය වෙත ගෙන ඒමේදී මා අතින් සිදුවූ ප්‍රමාද දෝෂයක් ඇත්නම් ඒ පිලිබඳ සම්පූර්න වගකීම මා විසින් බාරගනිමි.

විස්මිත සිහින දකින්නා-The Fantacy Dreamer
සූරිය ප්‍රකාශකයෝ

Advertisements
This entry was posted in අමුතු කථා. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s